
දෙවියන්ට ස්තෝත්ර කියමින් පැමිණි ආතුරයෝ මෝලම්කරුවන්ගේ සංගීත නාදයට අනුව කාවඩි ගෙන දෙවොල ඉදිරිපිට දෙවියන් වෙනුවෙන් කාවාඩි නටන්නට වූහ. මෝලම් සංගීතයේ හැඩරුව අනුව රඟනා රංගනය විටකදී ශෘංගාරාත්මකය. බදාදා සහ සෙනසුරාදා දින යනු කෙම්මුර දිනය. මෙම දින දෙකේදී කඳසුරිඳු උදෙසා විශේෂ පූජා පැවැත්වේ. මෝලම් සංගීතයට කාවාඩි නැටීම ඉන් ප්‍රධානය. මෙම දින දෙකේ සිදු කරන මුරුතැන් හෙවත් ආහාර පූජාව සඳහා මුවමස් අත්‍යවශ්‍ය අංගයක් ලෙස එකලදී සලකන ලදී. දැන් වුව මුරුතැන් පූජාව සඳහා මස්, මාළු සහ මත්පැන් වර්ග අයත්ය. එම මුරුතැන් පූජාවේ කොටසක් ලෙස ගැහැනු - පිරිමි දෙපාර්ශ්වය ශෘංගාරාත්මක කවි කියමින් ලාලිත්‍යයකට ශරීරය නැටවීම සිදු කරයි. මෙය හඳුන්වන්නේ මෛථුන පූජාව ලෙසය. සක්, ඝණ්ඨා හා හේවිසි මෙහිදී ප්‍රධාන වාද්‍ය භාණ්ඩ වේ. සංගීතය කර්ණකොට ගෙන පැවැත්වෙන මෙම සෑම පූජාවකදීම මෝලම්කරුවන්ගේ දායකත්වය නොඅඩුව ලැබේ. කාවාඩි පූජාව ලෙස හැඳින්වෙන බෙහෙවින් දේව භක්තිය ඉස්මතු කෙරෙනා පූජාවේදී විශේෂ කාවාඩි වර්ග පහක් භාවිත කරනු ලැබේ. පරවි, භක්ති, ගිනි, කිරි හා මත්ස්‍ය යන විශේෂණ පද සහිතව ඒවා හඳුන්වනු ලැබේ. ලෝහ කොපුවලින් එල්ලී පැයක් පමණ දේවාලය දෙසට වැඳගෙන සිටීම පරවි කාවාඩි පූජාවයි. මෙහෙදි මෝලම් සංගීතය පසෙකින් වාදනය වේ. මෙය අතිශය බිය උපදවන සුලු පූජාවක් වුවද කොක්කෙන් එල්ලූ තැනැත්තා එයින් වේදනාවන් අත්විඳින බවක් නොඅඟවයි. දේව භක්තිය ඊට ප්‍රධානතම හේතු කාරණය වී ඇත. මෙම පූජාව කරන තැනැත්තාගේ හමෙහි ලෝහ කොකු ගැසූ පසු ලණුවලින් ඉහළ අට්ටාලයක එල්ලුවද ලෝහ කොකු ගැසූ තැනින් රුධිරය වහනය නොවන්නේ දේව භක්තිය නිසා යැයි කියනු ලැබේ. සෑම වසරකම අසුර සංහාරය සිදුවූ ඉල්මහ මංගල්‍ය දිනය, දේව සේනාපති තනතුරු ගත් වෘශ්චික රවියේ කැති නැකත යෙදෙන දිනය, උපන් දිනය වන මකර රවිගේ කැති නැකත යෙදෙන දිනය හා කතරගම දෙවිඳුන් වල්ලි සමඟ විවාහ වූ බක්මහ උත්‍රපල් නැකත යෙදෙන දිනය යන දිනවල භක්ති කාවාඩි පූජා පැවැත්වේ. ගිනි කාවාඩි පුජාව දේවාලයේ පහන් දැල්වීම හා සබැඳි පූජාවකි. කෙසෙල් පතුරු සහ ගොක්කොළවලින් සරසන ලද කාවාඩි කූඩුව පිටතට දිස්වන සේ බඳින ලද විළි හත බැගින් වේ. පූජාව සිදුකරන්නා ශරීරය පුරා රිදී වේලායුධ එකසිය අටක් ගසා ගනී. දැල්වෙන කාවාඩි කූඩුව කර තබාගෙන දේවාලයට ගමන් කර එහි ඇති පහන් තම පන්දම්වලින් දල්වයි. මෙය ගිනි කාවාඩි පූජාව ලෙස හැඳින්වේ. ගිනි කාවාඩි පූජාව සඳහා කිරි ලබාගැනීමට පැටවා සහිත කළු පැහැති එළදෙනක් ගෙනෙනු ලැබේ. එම එළඳෙන නහවා මල්මාලා පලඳවා සුවඳ දුම් අල්ලා අනතුරුව කිරි ෙදාවා ගැනීම සිදුකරයි. එම කිරි සහිත මුට්ටිය එල්ලන ලද කාවාඩි කූඩු කර තබා දකුණු අතින් අල්ලාගෙන දින ගම්වල ඇවිද ගොස් ජනයාට ආශිර්වාද කොට ආපසු දේවාලය කරා ගෙන එන කිරිමුට්ටි කපුරාලට බාර දුන් පසු කපුරාල එම කිරිවලින් දෙවියන් නහවයි. මත්ස්‍ය කාවාඩි යනු තවත් කාවාඩි පූජා විධි ක්රමයකි. මාළු ව්යාංජනයන් සහිතව මුට්ටි කාවාඩි කූඩුවල එල්ලාගෙන ගමේ ඇවිද දේවාලයට පිවිසෙන බැතිමතා එම කාවාඩි කූඩුව ජලයෙන් නහවා මුට්ටි කටවල් විවෘත කරයි. එවිට පිසූ මාළුවන්ට පණ ලැබී ඇති බව දැකිය හැකිය. මෙය අභාවයට ගිය පැරැණි පූජාවකි. මේ හැම පූජාවකදීම මෝලම් සංගීතය අත්‍යවශ්‍ය අංගයකි. අවුරුදු මංගල්‍ය, ඇසළ මංගල්‍යය සහ ඉල් මංගල්‍යය යන ප්‍රධාන උත්සව තුනේදී මෝලම්කරුවන් හට සුවිශේෂී කාර්ය භාරයක් පැවරී ඇත. අලුත් සහල් මංගල්‍ය ලෙසින් හැඳින්වෙන අවුරුදු මංගල්‍යය අප්‍රේල් මස මැද හරියේ පැවැත්වේ. මෙහිදී මහා දේවාලයේ සතර කොන්වලට සහ මහා දේවාලයට පිවිසෙන පන්දලට යමින් කිරි ඉතිරිවීම සිදුකෙරේ. අලුත් සහල් යොදා මුරුතැන් පූජාව පවත්වන අතර දේවාලයේ පුරප්පාඩු වී ඇති තනතුරු පිරවීම, දැහැත් පිළිගැන්වීම, වත්කම් ප්‍රකාශ කිරීම මෙහිදී සිදුවේ. මෙම පූජාවේදී මෝලම්කරුවන්ගේ සහාය ප්‍රධාන නොවන අතර කතරගම ඇසළ උත්සවය සමයේ ඔවුන් නැවත වරක් කරළියට පැමිණේ. ජූලි මාසය මුල්කර ගත් ඇසළ පෙරහැරට අවශ්‍ය සූදානම් කිරීම් කරන්නේ මැයි මාසයේ සිටය. මූලික වශයෙන් කණු කැපීම සිදු කෙරේ. රත්කරව් ගසක් කපා පෙරහැරින් ගෙනවිත් වල්ලි අම්මා කෝවිලට ගොස් පසු දින අලුයම එය මහා දේවාලයට රැගෙන යනු ලබයි. කප් සිටවීම සඳහා යොදා ගන්නේ රත්කරව් ගසය. කප් සිටුවා දින හතළිහකට පසු මහා දේවාලයේ පෙරහැර ඇරඹේ. පෙරහැර අවසන් වී දින දහයකට පසු කප ඉවත් කරනු ලබයි. එසේ ඉවත් කළ කප දික් නොවූ කොටේ වැල්ලේ එල්ලනු ලැබේ. වැස්ස ලැබී රට සමෘද්ධිමත් වන්නේ ඉන් පසුව යැයි කියනු ලැබේ. පළමු දින පහේ ඇසළ පෙරහැර මඟුල් පෙරහැර නම් වේ. එහි මෝලම්කරුවන්ට අතිශය කාර්ය බහුල කාලවකවානුවකි. ඇසළ පොහොය ගෙවී අවපෑලවිය ලබන දිනයේ තුන්වැනි පෙරහැර ඇරඹේ. මහා දේවාලයේ සිට වල්ලි අම්මා දේවාලයට ගොස් එතැනින් පිටත්ව බස්නායක නිලමේගේ වලව්වේ ෙදාරටුව අසලදී නිලධාරීන්ට ගරු කිරීම, ආශිර්වාද කිරීම සිදුකරේ. තුන්වැනි පෙරහැරෙදි මෝලම්කරුවන් සිය උපරිම දක්ෂතා පෙන්වයි. තුන්වැනි පෙරහැරට පසුව මහපෙරහැර ඇරඹේ. භික්ෂූන්වහන්සේ ලවා පිරිත් කියවා රත්නත්‍රයේ ආශිර්වාදය ලැබ දෙවියන් වැඩමවීම සිදුකරයි. හරෝ .... හරෝ .... හරා, ඝණ්ඨා හා හේවිසි නාද මැද්දේ කපුරාල විසින් දේවාභරණ සහ දේව රූප වාසනා මේධය වෙත ගෙන යනු ලැබේ. එය ඉතිහාසගත කතා ප්‍රවෘත්තිය අනුව මෝලම්කරුවන්ගේ කතරගම දේවාලය හා සබැඳි කාර්යභාරය, මෝලම්කරුවන්ගේ ඉතිහාසය දෙස බලන විට පෙනී යන්නේ ඔවුන්ට දකුණු ඉන්දීය සම්භවයක් ඇති සෙයකි. අදවන විටද කතරගමදී මෝලම් වාදනය කරනා දමිළ ජාතිකයන් පහසුවෙන් හමුවිය හැකිය. ඒ මුත් ජන වර්ග අතර ඇති වූ ආවාහ-විවාහ වැනි කරුණු කාරණා මුල්කරගෙන දමිළ ජාතිකයන් සහ සිංහල අයවලුන් අතර සම්මිශ්‍රණයක් ලෙස අද දවසේ මෝලම්කරුවන්ගේ දිවි පෙවෙත සැකසී ඇත. පෙර සඳහන් කළ සියලු කරුණු කාරණාවලදී කතරගම දේවාලය ප්‍රධාන කොට ගනිමින් කඳසුරිඳු වෙත මෝලම්කරුවෝ සිය ජීවිතය කැප කළද වැයෙනා මෝලමේ රිද්මය ඒ ලෙස ඔවුනගේ ජීවිතවලට සමීප වී ඇතැයි පැවැසිය නොහැක. කතරගම මෝලම් සමන් කතා කරයි.... අද වෙද්දී මෝලම් ගහන බෑන්ඩ් පහක් හයක් කතරගම තියෙනවා. ඒ හැම බෑන්ඩ් එකකම ෆුල් බෑන්ඩ් එකයි, හාෆ් බෑන්ඩ් එකයි තියෙනවා. එක තේවා වාරයකදී ෆුල් බෑන්ඩ් එක මෝලම් ගහන්න හාරදාහස් පන්සියයක් ගන්නවා. නෝමල් හාෆ් බෑන්ඩ් එක තුන්දහස් පන්සියයක් ගන්නවා. ෆුල් බෑන්ඩ් එකක ඉන්නේ පස් දෙනෙක්, නෝමල් බෑන්ඩ් එකක තුන් දෙනෙක්. අද වෙද්දි අපි කාවාඩි පූජාව තියන්න සහභාගි වෙනවා. කතරගම දෙවියෝ ගොඩාක් අනුහස් තියෙන කෙනෙක්. දෙවියන්ව විශ්වාස කරන ඕනෑ කෙනෙක්ට කතරගම දෙවියෝ පිහිට වෙනවා. අපිටත් එහෙමයි. කොහොමත් මේ මෝලම් ගැහිල්ල රස්සාවක් විදිහට හිතුවොත් ජීවත් වෙන්න පුළුවන් ගාණක් හොයා ගන්න පුළුවන්. අද වෙද්දී ෆුල් බෑන්ඩ් ගහලා කාවඩි ෙදාළහ දාලා නටන අය අඩුයි. එක පාරක් අපි එක්කරගෙන ආපු අය එක්ක මෝලම් ගහද්දි ඒ සද්දෙට නටන අය තමයි දැන් ගොඩාක් ඉන්නේ. මිනිස්සු අතේ සල්ලි නැති එක ඒකට ප්‍රධාන හේතුවක්. මොනව වුණත් කතරගම දෙවි හාමුදුරුවන් ඉස්සර පේවෙලා පූජාව තියන අයව අපි අතරමං කරන්නේ නෑ. සමන්ගේ පරම්පරාව අද වන විට ගරු කටයුතු සේවයක් ලෙස නොව මෝලම් ගැසීම සිදුකරන්නේ රැකියාවක් වශයෙනි. රැකියාවේ අරමුනු ආදායම් උපදවා ගැනීමයි. ඒ මුත් දේව භක්තිය මුල්කරගෙන දෙවියන් වෙනුවෙන් සිදුකරනා පුද පූජා සඳහා රැකියාව පවා කැප කිරීමට මෝලම්කරුවන්ට සිදුවී ඇත. අනෙක් අතින් ගත් කල මෝලම්කරුවෝ කතරගමදී දේවාලයට සේවය කරන ධූරාවලියක් ලෙස පිළිගන්නේ නැත. අප මේ පිළිබඳ මෝලම් සමන්ගෙන් විමසුවෙමු. * කොච්චර කාලයක් තිස්සේ මේ රස්සාව කරනවද? දන්න කාලේ ඉඳලා. වෙන රස්සාවක් කරන්න මම දන්නේ නැහැ. ඒත් අපේ පරම්පරාවේ වෙන කවුරුවත් මේ විදිහට මෝලම් ගැසීම සිදු කළේ නැහැ. * මෝලම්කරුවන් ලෙස පිළිගැනීමක් ඇති ද්‍රවිඩ අය නවක මෝලම්කරුවන් පිළිගන්නා මට්ටමකද ඉන්නේ. අපි දෙගොල්ල අතර විශේෂයක් නැහැ. * දේවාලය මට්ටමෙන් මේ විදිහට මෝලම් ගහන අයට විශේෂ සැලකිල්ලක් තියෙනවාද? අපේ කණ්ඩායම්වල ඉන්න පෙලක් අය දේවාලේ රාජකාරි කරනවා. එච්චරයි. විශේෂ දෙයක් සිදුවෙන්නේ නැහැ. * මොන කාලවලටද සෙනඟ එන්නේ. සතියේ දවස්වල බදාදයි, සෙනසුරාදයි සෙනඟ එනවා. විශේෂයෙන් සෙනඟ එන්න ගන්නේ උත්සව කාලයට. වෙන කළ හැක්කක් නොවන නිසා නොව මොවුන් අදද මෝලම් ගසන්නේ එය තමන්ගේ රාජකාරියක් ලෙස සිතාය. ඒ අතින් ගත් කල එය පැසසිය යුතු කරුණකි.
Share this on Facebook
Comments[ 0 ]
Post a Comment