මලල ක්‍රීඩාවේ දියුණුවට ප්රවීණයකුගෙන් අලුත් යෝජනා
Friday, September 12, 2014
මලල ක්‍රීඩාව ප්රමුඛ ප්‍රධාන ක්‍රීඩා කීපයක දක්ෂතා මේ වනවිට ඇනහිටිමින් මෙරට තුළ ක්‍රීඩා බොහොමයක් අගාධය කරා ඇදී යන බවක් සෑම තැනින්ම අසන්නට, දකින්නට ලැබෙන බව සත්‍යයකි.එහෙත් ඇතැමුන් ඒවා පිළිගන්නට අකැමැති වන්නේ එහි දෝෂාරෝපණය තමා වෙතද එන බව හොඳින් දන්නා කරුණක් නිසාය.මේ බිඳවැටීම්වලට සෘජුවම හෝ වක්‍රව සම්මාදම් වන පිරිස් අතරට දේශපාලන අදහස්, කළමනාකරණය, පරිපාලනය, තාක්ෂණික මෙවලම් හා පහසුකම්, පුහුණුකරුවන්ගේ දැනුම හා පෞද්ගලික මතිමතාන්තර සමඟ ක්‍රීඩකයන් තුළ පැතිර පවත්නා ආත්මාර්ථකාමී හා මන්දගාමී බව මීට සාක්ෂි සපයනු ඇත. ක්‍රීඩා සංවර්ධනය යනු තරග පැවැත්වීම පමණක් නොවන බැවින් වත්මන් ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව වර්තමානයේදී එම අර්ථයට අනුරූපව කටයුතු කරනවාදැයි ප්‍රශ්නයක් මතුවන අතර ජාතික ක්‍රීඩා උළෙල යනු දීර්ඝ කාලීනව කාලය කා දමන වැඩසටහනක් බව තවමත් ක්‍රීඩා අමාත්‍යංශය තේරුම් නොගැනීම කනගාටුවට කරුණකි. සෑම වසරකම (1972 සිට) පෙබරවාරි සිට ඔක්තෝබර් දක්වා ඇත්තේ ඒකාකාර කඩිමුඩියකි. වසරක් පාසා සිදුවන්නේ පාලනය හා කළමනාකරණය කරගත නොහැකි ලෙස අලුත් ක්‍රීඩා හෝ ඉසව් එක්වීමත් විශාල මුදලක් සෑම වසරකම වියදම් වීමත්ය.ක්‍රීඩා අමාත්‍යංශය මඟින් රාජ්‍ය අනුග්‍රහයෙන් පවත්වන ජාතික මහා ක්‍රීඩා උළෙල රටක් වශයෙන් වැදගත් කටයුත්තක් වුවද මේ වන විට එහි පරමාර්ථ වියැකී ගොස් ඇත.එබැවින් කළ යුතු කාලෝචිත යෝජනා කීපයක් මෙමඟින් ඉදිරිපත් කරනුයේ කියවා බලා කුණු කූඩයට දමන්නට නොවන බව ක්‍රීඩා පරිපාලනය තේරුම් ගතහොත් වැදගත්ය. මෙහිදී වැදගත් වන්නේ අදහස් ඉදිරිපත් කරන මෙම ලියුම්කරුවාගේ තරාතිරම නොව ඉදිරිපත් කළ කරුණුවල හොඳ හෝ නරක විමසා බැලීමය.1. ජාතික මහා ක්‍රීඩා උළෙල වසර දෙකකට වරක් පැවැත්වීම.(1990 දශකයේ අග භාගයේ සිට මේ අදහස විටින් විට ඉදිරිපත් කොට ඇත.)ඉන් එක් වසරක අදාළ ජාතික මහා ක්‍රීඩා උළෙල පැවැත්වීමට තෝරා ගන්නා දිස්ත්‍රික්කයේ ක්‍රීඩාංගණ (මීටර් 400) යාවත්කාලීන කිරීම,.ක්‍රීඩකයන් නතර කළ හැකි පාසල් දෙකකටවත් නේවාසිකාගාර පහසුකම් සඳහා ගොඩනැඟිලි සාදා දීම, අවම වශයෙන් සාමාන්‍ය ප්‍රමාණයේ නිවාස 5ක් එම දිස්ත්‍රික්කයේ ප්‍රවීණ හා ජාත්‍යන්තර මට්ටමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් සිවු දෙනකුට හා ජාත්‍යන්තර මට්ටමට ක්‍රීඩකයන් හැදූ එක් පුහුණුකරුවකුටත් ලබාදී කුඩා ක්‍රීඩා ගම්මානයක් ලබාදීම ප්‍රධාන වශයෙන් කළ හැකිය. උදාහරණයක් ලෙස 2016 ජාතික මහා ක්‍රීඩා උළෙල කෑගල්ලේදී පවත්වනවානම් 2015 මුදල් අදාළ දිස්ත්‍රික්කයේ ක්‍රීඩා පහසුකම් ඇතුළු සංවර්ධනය සඳහා වෙන් කොට 2016 මුදල් තරග සඳහා යෙදවිය හැකිය. ජාතික තරග නොපවත්වන වසරේ පළාත් මට්ටමෙන් තරගාවලියක් පවත්වා එම ජයග්‍රාහකයන් ජාතික ශූරතා තරගාවලිය සඳහා අනිවාර්යයෙන් සහභාගි කරවා ගත යුතුය.2. ජාතික ක්‍රීඩා සංගම් මඟින් පවත්වන ජාතික තරගවල කේවල තරග සහ කණ්ඩායම් තරගවලදී ප්‍රථම ස්ථාන දෙක ලබාගන්නා අයට ජාතික මහා ක්‍රීඩා උළෙලට ඊළඟ වසරේදී සහභාගි වීම නවතාලිය යුතුය. අද වන විට මේ තරග දෙකේම ජයග්‍රාහකයා එකම අය නිසා නවකයන් තෝරා ගැනීම හා නවකයන්ට ඉදිරියට ඒමේ හැකියාව නැත. 1970 දී මෙම නීතිය ක්‍රියාත්මක වූ අතර ඉන්පසුව බොහෝ නවකයන්ට මලල ක්‍රීඩාවෙන් ඉදිරියට ඒමට අවස්ථාව ලැබිණි.ඇතැම් තරගාවලියන් හිදී වාර 10ක් හෝ ඊට වැඩි වාර ගණනක සහභාගිත්වය නිසා අලුත් අයට ඉදිරියට පැමිණීම ක්‍රීඩා අමාත්‍යංශය මඟින් නොදැනුම්වත්ව හෝ නවතා ඇත.එමෙන්ම ආධුනික අය වසර තුනක් ජාතික ක්‍රීඩා උළෙලේ ප්‍රථම ස්ථාන දෙක අතර රැඳී සිටින විට ඔවුනටද තරග කිරීම අත්හිටුවීම වැදගත්ය.මලල ක්‍රීඩාවේ මෙය 1970 දශකයේ දක්නට ලැබුණු නිවැරැදි යොමුවීමක් බව කිව යුතු අතර 80 දශකයේදී එම කොන්දේසිය ඉවත් කිරීම ක්‍රීඩාවේ සංවර්ධනයට බාධාවක් විය.නවකයන් තෝරා ගැනීම හා ඔවුනට ක්‍රීඩා අමාත්‍යංශය සමඟ සෘජු සම්බන්ධතාවක් තබා ගැනීමට 1983 ක්‍රීඩා අමාත්‍යංශයට මා හඳුන්වාදුන් මලල ක්‍රීඩා ව්‍යාපෘතිය හා ඊට පසුව කළ ව්‍යාපෘතීන්ට මෙම කණ්ඩායම් භාරදීම සිදුකළ හැකිය. එවිට නාමමාත්රික ව්‍යාපෘති නැවත පිබිදී ක්‍රීඩා සංවර්ධනය සිදුවේ. එවිට ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුව යනු නාමයට උචිත ආයතනයක් වනු නොඅනුමානය.ජාතික ක්‍රීඩා විද්‍යායතනයේ හිටපු අධ්යක්ෂ,යෝගානන්ද විජේසුන්දර(මෙම අදහස් සංවාදයට විවෘතයි)
Share this on Facebook
ක්‍රීඩා
Comments[ 0 ]
Post a Comment