ශ්රී ලංකා දැලේ මැලේසියාවත් පැටලේ
Friday, September 12, 2014
නවවැනි ආසියානු ශූරතා දැල්පන්දු තරගාවලියට සහභාගි වී සිටින ශ්රී ලංකා පිල ඊයේ (11දා) ඔවුන් මූලික වටයේදී සහභාගි වූ සිවුවැනි හා අවසන් තරගයේදී ප්රබල මැලේසියානු පිල තියුණු සටනකින් පසු ලකුණු හතරකින් පරාජය කරන්නට සමත් විය.ලකුණු 66-62ක් ලෙස ලද මේ ජයග්රහණය සමඟ ශ්රී ලංකා පිල අවසන් පූර්ව වටයට අපරාජිත බව ආරක්ෂා කරගනිමින් පැමිණීමට සමත් විය.තරගයේ පළමු වටයේදී මැලේසියානු ක්රීඩිකාවන්ගේ ආක්රමණ හමුවේ පීඩනයට ලක්වූ ශ්රී ලංකා පිල ලකුණු 14-17ක් ලෙස පරාජයට පත්වුවද පීඩනයෙන් මිදෙන්නට දෙවැනි වටයේදී ආක්රමණය උපක්රමයක් ලෙස යොදාගැනීම නිසා ශ්රී ලංකා ක්රීඩිකාවන්ට එහිදී ලකුණු 19-14ක් ලෙස ඉදිරියට පැමිණීමට හැකිවිණි.ඒ අනුව පළමු භාගය අවසාන වන විට ලකුණු 33-31ක් ලෙස ලකුණු 2ක තියුණු වාසියක් ඇතිව විවේකගන්නට ශ්රී ලංකා පිලට හැකි විය.කෙසේ නමුත් කරට කර සටනක් පැවැති තෙවැනි වටය ලකුණු 17-16ක් ලෙස එක ලකුණකින් ජයගන්නට මැලේසියාව සමත්වුවත් අවසන් වටයේදී නැවත ක්රියාත්මක වූ ශ්රී ලංකා ක්රීඩිකාවෝ එම වටයේ ජයග්රහණය ලකුණු 17-14ක් ලෙස සටහන් තැබූහ.නැවත වරක් ශ්රී ලංකා පිලේ ජය තහවුරු කරන්නට සමත් වූ තර්ජනී ශිවලිංගම් ලකුණු 65ක්ම ලබා දී තිබුණේ ඒ සඳහා ගත් උත්සාහයන් 72 කදීය.ශෂිකා සමරසිංහ ඉතිරි ලකුණ ලබාගැනීමට උත්සාහයන් හතරක නියැළී තිබිණි.මැලේසියාව වෙනුවෙන් තෝරා ශිෆින් ලකුණු 43ක් හා ඉස්ෆාන් ශ්යාරානා ලකුණු 19ක් රැස්කර තිබුණේ ඒ සඳහා ඔවුන් දෙදෙනා දැරූ උත්සාහයන් 78කදීය.මේ අනුව ශ්රී ලංකාව මීළඟ වටයේදී හොංකොං පිල සමඟ ලබන සෙනසුරාදා සිංගප්පූරු වේලාවෙන් පස්වරු 5.00ට තරග වැදීමට නියමිතය.
Share this on Facebook
ක්රීඩා
Comments[ 0 ]
Post a Comment